ඇකා දින 14 කට රිමාන්ඩ් ය.
ඒ අද දිනයේදී (2017.01.26) කොම්පඤ්ඤවීදිය මහේස්ත්‍රාත් අධිකරණයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහෝදරයාට එරෙහිව ලබාදුන් තීන්දුවයි.
ඇකා දින 14 කට රිමාන්ඩ් ය. සියල්ලෝම හෙනම මොරාල් ය.කවි ලියවෙයි.ප්‍රොෆයිල් පික්චර් මාරු වෙයි. ත්‍රිමාලාගේ වෙනුරලාගේ පරපුරේ නූතන පුරුක ලෙස ඇකා අභිශේක ගන්වයි. ඇකා අයියේ ඉක්මනට නිදහස් වෙලා එන්න වැනි හුදු විඥාණවාදයට කොටුවූ පෝස්ටු ෂෙයාර් වෙයි.
ඇකාට සිරගෙට යන්නට සිදුවූයේ මන්දැයි යමෙකු කතා කරන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඇකා සිරගත වන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය ආදී මිනිස් අයිතීන් දිනාදීමට සටන් වැදීමේ වරදටය. ඇත්තටම ඇකාට ඔයතරමට අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදීමට, සිරබත් කෑමට ඇති අමාරුව කුමක්ද? ඇත්තටම අධ්‍යාපනය අයිතියක්ද? අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුලු මිනිස් අයිතීන් පිළිබඳ මූලික පදනම් පවා තවමත් බහුතරයකට නිරවුල්ව නැත.
විනිසුරුවරියට අනුව ඇකා සිරගත වන්නේ එළියේ සිටියහොත් තවත් උද්ඝෝෂණ සංවිධානය කරන නිසාය. අධිකරණය මහා ඉහලින් පිළිගන්නවායැයි කියන උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇකාට නැතිද? රනිල් මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව දෙනවා කිව් ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ මෛත්‍රීගේ ඇඳිවත අස්සේද? අයිතීන් වෙනුවෙන් කතා කිරීමේ නිදහස ඇකාට නැතිද? ඇකාට පමණක් නොව, හම්බන්තොට ධීවරයින්ට, රතුපස්වල ජනතාවට , ටෙලිකොම් මෑන්පවර් සේවකයින්ට ආදී මෙකී නොකී සියලු සටන් කරන බලවේගයන්ට සටන් කිරීමේ නිදහස නීතියෙන්ම අහිමි කර ඇත. මහින්දලාගේ කාලයේ සුදු වෑන් වල පටවාගෙන ආ මර්දනය දැන් මහදවාලේ උස් හඬින් නීතියේ සයිරන් හඬවමින් පොලිස් ජීප් වල පටවාගෙන එයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ නිදහස ඇත්තේ විකිණීමට පමණි.විකිණෙන්නට පමණි. ඇකාගේ සිරගතවීමත් සමඟ ශිෂ්‍යයින් අතර මෙවන් සංවාදයක් අවම මට්ටමින්වත් ඇතිවී තිබේද යන්න සැක සහිතය.
වත්මන් සිසුන් උකහාගන්නේ අරගලයේ ඇති ආශ්වාදය පමණි. අරගලය, සටන අද ෆැෂන් එකකි. ඇකාට කවියක් දැමීම ඉතාම තෘප්තිමත් කර්තව්‍යයකි. ඇකාලාගේ අරගලයේ ඇති දේශපාලනික බර සම්පූර්ණයෙන්ම ගලවා දමා ඒවා හුදු ක්‍රියාදාම චිත්‍රපට බවට පත්කොට ඇත.
මෙවන් සංවාද / කතාබහ අප අතර අවම මට්ටමින් වත් ඇති නොවන තාක් කල්, ඒවා ඔස්සේ දේශපාලනිකව පෝෂණය වූ විඥාණයක් අඩුම වශයෙන් සිසුන් අතරවත් වර්ධනය නොවන තාක් කල්, තවත් වෙනුරලා ත්‍රිමාලා ඇකාලා මේ සමාජයට පැමිණෙනු ඇත. සටන් කරනු ඇත. සිරබත් කනු ඇත. දිවි කැපකරනු ඇත. උන්ට කවි ගී ලියැවෙනු ඇත. සැමරුම් එක පිට එක සැමරෙනු ඇත.නමුත් අවසානයේ උන් ගිය පසු තවත් එකෙකු පැමිණෙනතෙක් අප එකතැන නැවතී බලාසිටිනු ඇත.
අපි ඇකාලාට මෙන්ම ඇකාලා ගෙන යන අරගලයටත් සැබැවින්ම ආදරය කරමු.
-රොහාන් ජයවීර-

No comments:
Post a Comment