Wednesday, March 15, 2017

#MySAITMStory ටැග් එක යටතේ ලියපු ලිපි තුනක් හතරක් මම කියෙව්ව

#MySAITMStory ටැග් එක යටතේ ලියපු ලිපි තුනක් හතරක් මම කියෙව්ව. මේ මම දැකපු දේවල් දෙක තුනක්:
1. මේ අය ට්‍රයි එකක් දෙනවා "අපි කියල මහා ලොකු සල්ලිකාරයෝ නෙමෙයි" කියන්න. ඒක ඔප්පු කරන්න දෙමාපියන්ගේ රස්සා, මාසික වැටුප් කියන්න තරම් නිර්භීතත් වෙනව. හැබැයි ලංකාවේ සාමාන්‍ය මිනිහෙක්ට හීනයක් වෙච්ච රුපියල් කෝටියක් විතර ලැබුනේ කොහොමද කියල නොකියන්න පරිස්සම් වෙනවා.
2. පළමුවෙනි පොයින්ට් එකට සම්බන්ධයි. එයාල ලියනකොට මේ විදිහට තමන්ගේ ආර්ථික හැකියාව අවතක්සේරු කරලා ලියන්නේ ඇයි? මෙහෙම කිව්වනම් මොකද වෙන්නේ? "මට කෝටි ගාණක් වියදම් කරන්න සල්ලි තියෙනවා. මම ලංකාවේ සල්ලි දීල ඉගෙන ගන්නවා. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද?". මෙහෙම කිව්වොත්, හරිම පැහැදිලිව හැමෝටම ආර්ථික විෂමතාවය පේන්න ගන්නවා. ඒක අප්සැට්. ඒ විෂමතාවය වසා දැමීම තමයි මේ සුන්දර මානුෂික හොටු පෙරන කතා වල ප්‍රතිපලය.
3. ලංකාවේ කෝටි දෙකක ජනගහනයක් ඉන්නවා. කෝටි දෙකටම "මගේ සයිටම් කතාව" හෝ "මට සයිටම් ගැන කියන්න තියෙන කතාව" කියන්න කොලම්බු ටෙලිග්‍රාෆ් ඉඩ දෙයිද? එහෙම පුලුවන්ද? එක එකා තමන්ගේ හොටු කතා කීම ප්‍රායෝගික නැති නිසා නේද දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන, බුද්ධිමත්තු කියල කොටසක් වගේ දේවල් හැදෙන්නේ? කතා කරන්න ඕන ඒ තලයේ මිස මෙහෙම එක එක්කෙනාගේ දුක්බර කතන්දර ගැන නෙමේ. මේ පුද්ගලික කතන්දර විදිහට එලියට පනින්නේ ඉහවහා ගිය පුද්ගලවාදය. මම, මම, මම. පුද්ගලවාදය පැත්තක තියල සටන් කරන්නවත් තේරෙන්නේ නෑ. මේ ලියන සියල්ලෝම සයිටම් සම්බන්ධ සමාජ/ආර්ථික/දේශපාලන සාධක ඔක්කොම අමතක කරනව. සමීර සේනාරත්න, රාජිත සේනාරත්න, එස් බී දිසානායක, නෙවිල් ෆර්නැන්ඩෝ, අනුරුද්ධ ප්‍රදීප්, ලහිරු වීරසේකර වගේ අයගේ බලපෑම්, අදහස් තියා නම්වත් නොකියන්න පරිස්සම් වෙනව. සරලව කිව්වොත් තමන්ගේ ජීවන අත්දැකීම අනුව තමන් ඉන්නේ නිවැරදිම නිවැරදි පට්ට පවිත්‍ර පොසිෂන් එක බව එයාලට ෂුවර්. සමාජය තුල තියෙන විවිධ අදහස් එක්ක බලල තමන්ගේ ජීවිතය සමාජය තුල පිහිටන්නේ කොතනද කියල විශ්ලේෂණය කරගන්නේ නැහැ.
4. මේ ලියවිලි තුල කොච්චර නිහතමානී වෙන්න හැදුවත් එලියට පනින තද අහංකාරකමක් තියෙනව. තමන්ගේ කුසලතා, ගුණදම්, ජීවිත කතාව ආදී ඔක්කොම පුද්ගලික දේවල් මෙහෙම සයිටම් ප්‍රශ්නය වගේ එකකදී කියද්දී පොඩි ඔක්කාරයක් කියවන මට එනව. එයාලගේ ජීවිත කතාව අපි අහන්න ඕනේ එයාල මහා චරිත ද? මෙතනදි එයාල මේ ටික කිව්වනම් ඇති : සයිටම් යන්න සල්ලි හම්බුනේ කොහොමද? එයාල ගැන මට දැනගන්න ඕන එච්චරයි. කොහේ හරි යන කෙනෙක් පොඩි කාලේ අල්ලන සෙල්ලම් කරාද කියල දැනගෙන අපිට වැඩක් තියෙනවද? ඒ ටික කියවීමෙන් වෙන්නේ "යකෝ මුනුත් අපි වගේ මිනිස්සුනේ" කියල හිතෙන එක. ඔවු ඔවු, අපි ඔක්කොම මිනිස්සු තමයි, හැබැයි අර ඌරෙක් කිව්වා වගේ "සියල්ලෝ සමානයෝය, හැබැයි සමහරු අන් අයට වඩා සමානයෝය". බයෝ වලට B දෙකයි C එකයි දාපු සියල්ලෝ සමානයෝය, හැබැයි සමහරු අන් අයට වඩා සමානයෝය. ඒ "සමහරු" සයිටම් යති. කොලම්බු ටෙලිග්‍රාෆ් වලට ජීවිත කතා ලියති.
ඔන්න ඔය හේතු නිසා #MySAITMStory දැක්කම මම බඩ අල්ලාගෙන හිනාවෙනව.

No comments:

Post a Comment